මාර්ග නීති

වාහන තදබද සාකච්චාවෙන් පස්සේ මට හොඳ අවස්ථාවක් ලැබුනා පැමින සිටි අයත් සමග පැය බාගයක් විතර සාමීචියේ යෙදෙන්න, ලාල්ට පින් සිද්ධවෙන්න.

ගෝනියා රියදුරෝ වාහන පදවන්නේ ඉතාම විනීත ලෙසත්, නීති අනුවත් බව පැහැදිළිව පෙනෙන්න තියෙනවා. මෙය බොහෝ ලංකාවේ රියදුරන්ට වඩා හාත්පසින්ම වෙනස්. මට වඩාම දැනගන්න ඕනවුනේ මේ වෙනසට හේතු මොනවද කියලා; ඒ නීති පද්ධතියේ වෙනස්කම් නිසාද, රියදුරු පුහුනුවට සම්බන්ධ දෙයක්ද, ඒත් නැතිනම් ගෝනියානුවන්ගේ ආවේනික ගුනාංගයක ප්රතිඵලයක්ද?

මට පිළිතුරු දැනගන්න කැමති ප්රශ්න කීපයක් ඇති බව ලාල් සභාවට කිව්වේ ලඟ කඩේකින් සැපයූ කෝපි කෝප්ප අතට ගෙන නැවතත් වාඩිගත් පසුවයි.

“මම ප්රශ්න අහන්න ඉස්සර යමක් කියන්න තියෙනවා. මම ගෝනියාවට ආවේ දැනට දවස් කීපෙකට ඉස්සර. ඒ කියන්නේ මම ගෝනියාව ගැන තවම වැඩිය දන්නෙ නෑ. මේ සංචාරේ අරමුණ ඒ දැනීම ටිකක් හරි දියුණු කරගැනීම. ඒ නිසා මේ වගේ සභාවකට සහභාගි වෙන්න ඉඩ සලසා දුන් ලාල් සහ ඔබ සැමටත් මම නයගැතියි”

කෝපි උගුරකට පස්සේ ආයෙත් කතාව පටන් ගත්තා.

“මම දැනටම දැකලා තියෙන එක අතකින් ගෝනොයාව ලංකාවට වඩා හුඟක් වෙනස්. ඒ වෙනස අද සාකච්චාවුන මාතෘකාවට සම්බන්ධයි - ඒ තමා රියදුරු විනය… ලංකාවේ රියදුරු විනය දැනට වඩා බොහෝම දියුණු වෙන්න ඕන ගෝනියාවේ පවතින තත්වයට එන්න. ලංකාවේ ජනගහනය, මාර්ග පද්දතිය, වාහන සංක්යාව වැනි දේ ගෝනියාවට වඩා හුඟක් වැඩි බව ඇත්ත. නමුත් ඔබලා ලංකාවේ නගරයක වාහන ගමන බලා හිටියත් පිස්සු හැදෙයි! කුලී වාහනේක ගියොත්, එහෙමත් නැත්නම් තමාම වාහනයක් එලවාගෙන ගියොත් හිතෙයි ‘මේ අයට විනය කියලා දෙයක් නැද්ද?’ කියලා. නමුත් මෙහෙයි එහෙයි තියෙන වාහන එක වගේ, පාරවල් වැඩි වෙනසක් නෑ, එලවන්නේ පාරේ වම් පැත්තේ…”

ඒ වෙලාවෙයි මට හිතුනේ ලංකාවේ පාරක වාහන දුවන විදිහ පිටරට අයෙකුට පැහැදිළි කිරීම කොයි තරම් අමාරුද කියලා.

“පොලිසිය කොයි තරම් නීති කඩකරන වාහන නැවැත්තුවත්, රියදුටන්ට දඩ ගැහුවත් අපි නීති කඩකරන එක නවත්තන්නෙ නෑ! පොඩි දේවල් - පාරේ ඇඳලා තියෙන ඉරි කපාගෙන යනවා විතරක් නෙවෙයි දිගටම ඒවා මැදිකරගෙන යනවා, ඕනවට වඩා වේගෙන් යනවා, අනතුරුදායක් විදිහට ඉස්සර කරනවා, බ්රේක් වෙනුවටහ් හෝන් පාවිච්චි කරන්වා, පාර ඇහිරෙයිද නැද්ද නොබලා පොඩ්ඩක් ඉඩ තිබුනත් වාහනේ එතැනට ගන්නවා… තව මාසයක් කියන්න වෙයි ඔක්කොම වැරදි ලයිස්තු කරන්න! නමුත් මට දැනගන්න ඕන මේකයි - ලංකාවත් සමග සංසන්දනය කරද්දී ගෝනියාවේ රියදුරෝ මේ තරම් විනීත ලෙස රිය පදවන්නේ තද නීති පද්දතියක් නිසාද, රියදුරු පුහුණුවේ වෙනසක්ද නැතිනම් ගෝනියානුවන්ගේ පිහිටි වෙනසක්ද කියලා”

ඒ සැරේ පොඩි නිශ්ශබ්දතාවයක් - මට හිතුනේ මම ලංකාවේ රියදුරු වෙනස පැහැදිළි කරා මදි කියලා. නමුත් නමුත් ඉස්සරහ පෙලේ වාඩිවීසිටි ගැහැනු කෙනෙක් අත ඉස්සුවා. එතකොටයි මට මතක්වුනේ සභා හැසිරීමේ ක්රම ගැන.

“මට එක ප්රශ්නයක් තියෙනවා..”

“ඔවු?”

“ඇයි ලාංකිකයෝ ඒ වගේ නීති වලට විරුද්ධ වෙන විදිහට වාහන එලවන්නේ?”

ඒකයි මටත් තියෙන ප්රශ්නේ, අනික් පැත්තෙන් බැලුවොත්!

“ඒකට උත්තරයක් තමා මමත් හොයන්නේ… අපි ඉස්සරවෙලාම රියදුරු පුහුණුව බැලුවොත් ඒකේ වැඩි වෙනසක් ඇති කියලා මට හිතෙන්නෙ නෑ. වයස 18දී නේද මෙහෙත් ලයිසන් ගන්න පුළුවන්?”

“ඔවු… පොඩි ප්රශ්න පත්තරයකුයි ප්රායෝගික රියදුරු විභාගෙකුයි විතරයි ඕන… හුඟක් අය එලවන්ට ඉගෙනගන්නේ රියදුරු පුහුණුකරන පාසැලකින්…”

“ලංකාවේ වගේ තමා… හැබැයි නීති නම් වෙනස් ඇති හොඳටම! මම ගෝනියාවේ පාරවල් වලට කැමති ඇයි දන්නවද? ඒවගෙ අයිනේ මාර්ග සංඥා හරිම අඩුයි! පාර දුවන්නේ කොහාටද ඇරුනුකොට වෙන මොකවත් නෑ!”

“ගමනක් යනකොට ඊට වඩා මොනවද දැනගන්න ඕන?”

ලාල්ගෙ සගයෙක් මෙහෙම ඇහුවේ කල්පනාවෙන්.

ඒ ප්රශ්නය නිසා මගේ හිතේ තිබුන අදහස් නැවතත් සලකා බලන්න සිද්ධවුනා. මම මාර්ග සංඥා ගැන හිතන්න පටන්ගත්තේ පසුගිය දවස් කීපෙදියි. එයත් එක් වරටම හිතට දැනුන දෙයක් නෙවෙයි. දවසක් මම පසුදා ගමනට මිඩංගු කළයුතු කාලය තක්සේරු කරගැනීමට තැත් කළා. සිතියමෙන් ගමනේ දුර දැනගත්තත් වාහනයට ගියහැකි උපරිම වේගය නොදැන කාලය ගණනය කිරීමට බැරිවුනා; මා ගිය එක මාර්ගයකවත් වේග සීමාවක් ලකුණුවී තිබුනෙ නෑ.

“නෑ … මං කැමතියි ගමනට කොච්චර වෙලා යයිද කියලා කලින්ම දැනගන්න. ගමනක් යන්න ඉස්සරවෙලා මම බලනවා ඒකට විනාඩි විස්සක් යයිද පැය දෙකක් යයිද කියලා. එතකොට මගෙ දවස ප්ලෑන් කරගන්න පුළුවන්”

එයා ටිකක් මගෙ උත්තරේ ගැන හිතලා බැලුවා.

“ඔව්, මට තේරුම් ගන්න පුළුවන් ප්ලෑන් කරන කොටස… නමුත් කොච්චර වෙලාවක් යනවද කියලා ඩ්රයිවර්ගෙන් අහගන්න එක ලේසියි නේද? එයා තමා හරියටම දන්නේ…”

“එලවන්නේ මම නම්?”

“පළමුවෙනි සැරේ පරෙස්සමෙන් එලවනවා, නොදන්න පාරක් නම්. ඊට පස්සේ දන්නවානේ ඒ පාර ගැන දැනගන්න ඕන දේ?”

ඒ වෙලාවෙයි මට මතක්වුනේ ගෝනියානුවන්ගෙ ඉතා දියුණු මතක ශක්තිය! එක් සැරයක් යමක් දැක්කොත් ඒක මුළු ජීවිතේටම ඇති! ඇත්තටම මේ නගරයට ඇතුල්වෙන තැන නගරේ නම සහිත පුවරුවක් තිබුනා මම දැක්කා. නමුත් ඊට අමතරව පිය මංකඩ සලකුණක් වත් වේගය අඩුකරන සලකුණක්වත් තිබුනෙ නෑ. දැන් හිතලා බලනකලයි මට ඒත්තු ගියේ මම ගෝනියාවේ එකම වේග සීමා සලකුණක්වත් දැකලා නැති බව.

“මට තේරුම් ගන්න පුළුවන් ඔබලාගෙ ඉතා උසස් මතක ශක්තිය නිසා පාරේ ගතිලක්ශණත් අතරමග ඇති නගර වැනි මිනිස් වාසත් මතකේ රැඳී තිබෙන බව. ඒක අපි වගේ ලාංකිකයන්ට පුළුවන් දෙයක් නෙවෙයි… නමුත් මට හිතාගන්න බැරි ඇයි අඩුමගානේ වේග සීමා ලකුණුවත් නැත්තේ කියලා. රියදුරෝ කොහොමද දන්නේ මොන වේගයකින් යන්න සුදුසු කියලා තමාත් පාර පාවිච්චි කරන අනික් අයත් අනතුරු වලින් බේරගන්න?”

කාමරේ පසුපසින් ප්රශ්නයක් ආවා.

“කොහොමද ඒ සුදුසු සීමා දැනගන්නේ, සලකුණු හදලා සවි කරන්න?”

හොඳ වෙලාවට මම මේ ප්රශ්නෙට උත්තරේ දන්නවා.

“මාර්ගයේ ලක්ෂණ, ඒ කියන්නේ පාරේ පළල, මුහුණත ස්වභාවය, කඳු/බෑවුම්, වංගු, මංසන්දි වගේ දේ වලට අමතරව රථ ගමනාගමන ප්රමාණය, අවට ගොඩනැගිලි (ඉස්පිරිතාල, ඉස්කෝල වගේ විශේෂ ගොඩනැගිලිත් සමග), සුරක්ෂිතභාවය… මේ වගේ බොහෝම ප්‍රවාහණ කළමනාකරණ දත්ත පාවිච්චි කරලා තමා ඉන්ජිනේරුවෝ වේග සීමා නිර්මාණය කරන්නේ… ඊට පස්සේ තමා ආන්ඩුව ඒ වේග සීමා නීති බවට හරවන්නේ”

මම හිතෙන් අත්පොලසන් පාරක් ගහගත්තා හොඳ කෙටි විස්තරයක් දීමට හැකිවීම ගැන. හැබැයි වැඩි වෙලාවකට නෙවෙයි - ප්රශ්නයක් ආවේ ලාල්ගෙන්.

“නමුත් උපාලී… වාහන එකින් එකට වෙනස්, රියදුරෝ එකිනෙකාට වෙනස්, රෑයි දවලුයි වෙනස්… මේ සේරටම හරියනවද එකම වේග සීමාවක්?”

වටින් පිටින් ඇහෙන කසුකුසුවෙන් මට දැනුනා බොහොම දෙනෙක් මේ ප්රශ්නයට උත්තරක් බලාපොරොත්තුවෙන බව. මට තිබුනේ එකම උත්තරයයි.

“ස්තුතියි ලාල් ඒ වැදගත් ප්රශ්නෙට. ඒකට එකම උත්තරයි තියෙන්නේ - ‘නෑ!’ කියලා”

සභාවෙන් නැගී ආ සිනාව අඩු කරන්න මම අතක් ඉස්සුවා. වහාම සභාව නිශ්ශබ්ද වුනා.

“ලාල් කිව්ව දේ හරි - වාහන, රියදුරා, පාර, රෑ/දවල් වගේ වෙනස් නිසා ඇත්තටම ‘අනතුරු නැති’ කියලා වේගයක් නෑ. සමාවෙන්න… ඒක වැරදියි. අනතුරු රහිත එකම වේගය බිංදුව විතරයි! ඒකත් අපි පාරේ නවතාගෙන ඉන්න වෙලාවේ වෙන වාහනයක් ඇවිත් හැප්පුවෙ නැතිනම් (හිනා). නමුත් මෙතන තව ප්රශ්නයක් තියෙනවා, මට කොහොමටත් අදහ ගන්න බැරි දෙයක් ගැන. මට කියන්න පුළුවන්ද කොහොමද මෙහෙ මාර්ග අනතුරු අඩු වෙන්නේ, මාර්ග නීති පද්දතියේ අඩුවීමට සමාන්තරව? මං එහෙම අහන්නේ ලංකාවේ පළපුරුද්දෙන් - ලංකාවේ නීති තියෙන්නේ රියදුරන්ට පාරේ හැසිරෙන විදිහ පෙන්වා දෙන්න - කළහැකි දේ වල සීමා පෙන්වන්න. ගෝනියාවේ වගේ එහෙම නොපෙන්නුවොත්, අපේ අය මොනවා කරගනීද කියලා හිතන්නත් බයයි!”

වයසක් කෙනෙක් මේකට උත්තර දුන්නේ.

“මට පෙනෙන විදිහට ඔබ තුමාගෙ සිතිවිල්ල එන්නේ අපිට හොඳට පුරුදු නමුත් සම්පූර්ණෙන්ම වැරදි හැඟීමක් මුල්කරගෙන. මම කියන්නේ ‘සීමා නොපෙන්නුවොත් මිනිස්සු හරි විදිහට හැසිරෙන්නෙ නෑ’ කියන මෝඩ කතාව ගැන”

සැලකියයුතු කතාවක ආරම්භයක් මෙතන ඇති බව මට දැනුනා.

“ඇයි, ඔබතුමා කියන්නේ නීති අවශ්ය නෑ කියලද?”

“ආන්න තවත් වැරදි හැඟීමක්! නීති අවශ්ය වෙන්නේ අස්වාභාවික දේ වලට - අපි ගෙවන අයබදු මට්ටම, දරුවෝ ඉස්කෝලේ යන වයස වගේ. තමාගෙ ජීවිතේ නොමැරී ආරක්ෂා කරගන්න, පාරේ අනික් මගියන්ට හෝ වාහන වලට අනතුරු නොකරන්න වගේ දේ වලට නීති අවශ්ය නෑ. ඒවා සාමාන්ය ජීවිතේ අඛණ්ඩ කොටසක්”

මට ටිකින් ටික තේරෙනවා ඒ ලොකු උන්නැහේ හිතන හැටි. තමාගෙත් අනික් අයගෙත් ජීවිතත් දේපළත් හානි නොවෙන්න ක්රියා කිරීමයි ශිෂ්ට සම්පන්න හැසිරීම. එයින් පිටතට යෑම නැහැදිච්චි කමක්! ආචාරශීලීව වාහන හැසිරවීම එදිනෙදා ජීවිතේ වැදගත් අංගයක්. ආන්ඩුවේ නීති රීති වලින් මිනිස් අශිෂ්ටත්ව දුරු කරන්න නොහැකියි.

මම සභාවේ අයට හෘදයාංගම ස්තුතිය පුදකරලා ලාල් සමග කාමරෙන් එලියට ආවේ කල්පනාවෙන්. ටකරන් මාර්ග සලකුණකට වඩා ගැඹුරු ධර්මයක් අද සභාවෙන් මතුවූ බව මට සහතිකයි.